free bootstrap template

ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය

දීර්ඝ යටත් විජිත පාලනයකින් නිදහස ලැබූ ශ්‍රී ලංකාව තුළ බෞද්ධයන් යටපත් කර කතෝලික ආගම සහ ඉංග්‍රීසි උගත් බටහිර සංස්කෘතිය වැළඳගත් සමාජයේ ඊට අනුකූලව රැකියා බෙදී යාම සමාජ වරප්‍රසාද ලැබීම වැළැක්විය නොහැකි විය. ඊට ප්‍රති විරුද්ධව සිංහල සමාජය ගොඩනැගීමත් බෞද්ධයන් ආගමික දැනුමින් පෝෂණය කිරීමත් අත්‍යවශ්‍ය කරුණක් විය.

මේ සංස්කෘතික වෙනස උදෙසා පානදුරා වාදාදී වාද අනගාරික ධර්මපාල තුමාගේ සේවය, එල්.එච්. මෙත්තානන්ද, බද්දේගම විමලවංශ හිමියන් ඇතුලු පිරිසක් ගෙන ගිය ජාතික ව්‍යාපාර බෙහෙවින් උපකාරී විය. එහි දේශපාලන නැඹුරුව උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි විය. පරියාප්ති ශාසනයේ මෙකල සරල තේරුම් කිරීම් සඳහා රේරුකානේ චන්දවිමල මහනාහිමියන් 2500 බුද්ධ ජයන්තිය උදෙසා ආරම්භ කළ බෞද්ධ පොත් සමූහය ඉවහල් විය.යුගයේ උගතුන්ගේ ප්‍රශංසාවට පත් මේ පොත් නිහඬව කළ මහා ශාසන සේවාවක් ලෙස ප්‍රචලිත විය.

ඉතා අඩු මිලට සැපයීම හා ක්‍රමවත් බෙදා හැරීමක් නොවූ බැවින් 1987වන විට මේ පොත් පවත්වාගෙන යාමට අසීරු විය. පූජ්‍ය ගොඩිගමුවේ සෝරත, හේන්ගොඩ කල්‍යානධම්ම යන මහනාහිමියන්ගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා ජනතාව අතරට මේ පොත් ගෙන ගියත් සංවිධානයක් වශයෙන් ගොඩනැගී නොතිබීම නිසා සමහර පොත් මිලට ගැනීමට පවා නැතිවිය.

රේරුකානේ නාහිමියන්ට උපස්ථානය පිණිස වැඩම කළ පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ගේ යෝජනාවක් හා කැපවීම මත 1987.මාර්තු 01 වන දින ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවන ලදී.

ආචාර්ය හොරණ වජිරඤාණ නාහිමි, ගත්කතුවර කරුණාසේන ජයලත් මහතා ආදී ප්‍ර‍දේශයේ උගතුන් කීපදෙනෙකු ද සාමාජිකයන් වශයෙන් බඳවාගෙන එතෙක් පොත් පවත්වාගෙන ගිය හේන්ගොඩ කල්‍යාණධම්ම හිමිපාණන් සභාපතිත්වයෙහි හා කුඩා අවදියේ පටන් විහාරස්ථානයේ සියලු කටයුතු වලදී සම්බන්ධ වූ වර්තමාන ලේකම් චන්ද්‍රපාල තනිප්පුලිආරච්චි මහතා ලේකම් තනතුරෙහි පිහිටුවා මේ සංවිධානය පිහිටුවිණි.

අවුරුදු විසි පහක් පමණ කාර්යක්ෂමව කටයුතු කරමින් නාහිමියන්ගේ සියලු පොත් නැවත මුද්‍රණය කිරීමෙන් සමාජගත කිරීමට මණ්ඩලය සමත් වී සිටී. නාහිමිපාණන් ගේ ධර්ම පාඨකයන් බොහෝ දෙනෙකු කරන කුදුමහත් ආධාර මෙහිදී බොහෝ උපකාරී විය.

තොරතුරු තාක්ෂණය දියුණු වී ඇති මේ යුගයේ අන්තර්ජාලය හරහා තොරතුරු සොයන්නන්ට නාහිමියන්ගේ අදහස් කියවීමට නො ලැබුණ හොත් බණ වැනි බණ කියන්නන් නිසා විය හැකි පාඩුව ආවරණය කරණු පිණිස අපද අන්තර්ජාලයට පිවිසිය යුතුයි කල්පනා කලෙමු.

ඒ අනුව 2012 ජනවාරි මස 08 වැනි පුන්පෝ දින මෙම www.rerukanemahanahimi.lk වෙබ් අඩවිය විවෘත කෙරිණ.